CaFFE - Campaign for Free and Fair Election
 

ඇතැම් පක්ෂ තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් නොකිරීම ඡන්දදායකයින්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමක්

News     December 14, 2020

එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය ය පක්ෂවලට  හිමි පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු ආසන  සඳහා වහාම මන්ත්‍රිවරයෙකු පත් කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි. පසුගිය   පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත්වූ එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය යන පක්ෂවලට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර සඳහා මෙතෙක් කිසිවෙක් පත් නොකිරීම එම පක්ෂ වලට මැතිවරණයේදී ජන්දය ලබාදුන් ජන්දදායකයින්ගේ අපේක්ෂා කඩ කිරීමක් මෙන්ම දේශපාලන පක්ෂ ලෙස යුතුකම් පැහැර හැරීමක් වන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පවසයි. 

පසුගිය මහ මැතිවරණයේදී එම දේශපාලන පක්ෂ වෙත හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පක්ෂ නායකයින්ගේ පුද්ගලික බූදලයක් නොවන බව මනාස් මකීන් මහතා වැඩිදුරටත් පවසයි. එම ජාතික ලැයිස්තු මන්ත්‍ර ධුර සඳහා පුද්ගලයින් පත් නොකිරීම මඟින් එම පක්ෂ සදහා ඡන්දය ලබාදුන් ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවද ඒ් මහතා පෙන්වා දෙයි.  එමඟින්  මෙරට ව්‍යවස්ථාදායකයේ කටයුතු  සඳහා එම ජනතාවගේ නියෝජිතත්වය අහෝසි වී ඇති බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයාගේ අදහසයි.

මෙරට 16 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට පසුගිය අගෝස්තු 5 වන දින පැවැත්වූ මහ මැතිවරණයේදී 2.15% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිකරගත් අතර 0.58%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ අපේ ජනබල පක්ෂය ද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය. නමුත් එම මැතිවරණය පවත්වා මේ වනවිට මාස 4 කට අධික කාලයක් ගත වී ඇතත් මේ වනතෙක් එම මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයින් පත් කිරීමට එම දේශපාලන පක්ෂ අපොහොසත් වී ඇත. එම දේශපාලන පක්ෂ තුළ පවතින අභ්‍යන්තර අර්බුද මීට ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ. එම පක්ෂ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එම පක්ෂවලට ඡන්දය දුන් ජනතාව‌ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලඝනය වීම බරපතල තත්වයක් බව කැෆේ සංවිධානයේ අදහසයි.