CaFFE - Campaign for Free and Fair Election
 

රාජ්‍ය අංශයේ නිලධාරිනියන්ටත් ඩිජිටල් සාක්ෂරතාව අත්‍යවශ්‍යයි

News     March 8, 2022

රාජ්‍ය නිලධාරිනියන්ට ඩිජිටල් සාක්ෂරතාව ලබාදීම යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී ඇති බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පෙන්වා දෙයි. අද බදුල්ලේදී පැවති “ජනනි” ජාත්‍යන්තර කාන්තා දින විශේෂ වැඩසටහන අමතමින් විජේනායක මහතා මේ බව පෙන්වා දුන්නේය.

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තා නායිකාවන්ට ඩිජිටල් සාක්ෂරතාව ලබාදීම සඳහා කැෆේ සංවිධානය දියත් කර ඇති මෙම වැඩසටහන ප්‍රශංසනීය ඉදිරිගාමී පියවරක් බව පෙන්වා දුන් ඌව පළාත් පාලන කොමසාරිස්වරයා කියා සිටියේ ජාත්‍යන්තර කාන්තා දින විශේෂ වැඩසටහන බදුල්ලේදී පැවැත්වීමට හැකිවීම සුවිශේෂි බව පැවසීය. ඩිජිටල්කරණයට හුරුවීම සැබවින්ම ජීවිතය පහසු කරවන්නක් බව ඒ් මහතාගේ අදහසයි. එදිනෙදා ජීවිතයේ සියලු කටයුතු පහසුකරගැනීම සඳහා වන පහසුකම් රැසක් ඩිජිටල් තාක්ෂණය තුළ ඇති බව විජේනායක මහතා වැඩිදුරටත් පැවසීය. මැතිවරණ ව්‍යාපාර වලදී ජනතාව වෙත තම ක්‍රියාකාරකම් ගෙනයාම සඳහා සුදුසුම හා පහසුම ක්‍රමවේද ඩිජිටල් තාක්ෂණය තුළ ඇති බව ඒ් මහතාගේ අදහසයි.

එම ඩිජිටල් තාක්ෂණය ආරක්ෂා සහිතව භාවිත කිරීමට සාක්ෂරතාව අත්‍යවශ්‍ය බවත් වර්තමානයේ බිම් මට්ටමේ කාන්තා නායිකාවන්ට පමණක් නොව රාජ්‍ය අංශයේ නිලධාරිනියන්ටද ඩිජිටල් සාක්ෂරතාව ලබාදීමේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.

බිම් මට්ටමේ කාන්තා නායිකාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීමේ අරමුණින් කැෆේ සංවිධානය මෙහෙයවන වැඩසටහන් මාලාවේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ලෙස පැවති මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා, බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කේ කාන්දීපන් මහතා මෙන්ම ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරී සුදර්ශන මුදුන්ගොඩ යන මහත්වරු එක්ව සිටියහ. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරියන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීනියන් රැසක් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.   මෙහි ප්‍රධාන දේශනය ප්‍රවීන මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක විසින් පවත්වනු ලැබීය.  බිම් මට්ටමේ ක්‍රියාකාරී කාන්තාවන්ට ඩිජිටල් සාක්ෂරතාවයේ අවශයතාව පිලිබදව කැෆේ සංවිධානයේ විධායක  අධ්‍යක්ෂ  අහමඩ් මනාස්  මකීන් මහතා අදහස් දැක්විය.